Friday, March 18, 2011

දේශප්‍රේමී හීනයක්........

17 වනදා උදෙන්ම ගොස් සංධානයට චන්දය දුන් මට රෑ ඇඳට වී චන්ද ප්‍රථිපල අසා සිටින විට තද නිදිමතක් දැනුනි.

එකසත් ජනතා නිදහස් සංධානය චන්ද තිස් නව දහස්....... එක්සත් ජාතික පක්ශය චන්ද දාහතර දහස්.....

ජනතා විමුක්ති පෙරමුණ චන්ද නමසිය.......

මට නොදැනුවත්වම නින්ද ගියේය. ඇහැරෙන විට හොඳටම දවල් වී තිබුනි. කාමරය වෙනස් වී ඇත. හරියට තරු පහේ හෝටලයක කාමරයක් මෙනි. මම හීනෙන් ඇවිදගෙන ගොස් වෙනත් නිවසකටවත් ඇතුලුවූවාදැයි ඇතිවු සැකය නිසා වහාම පාරට පැන ගතිමි. වලවල් තිබු බොරලු පාර කාපට් කර ඇත.අවට තිබූ කපරාරු නොකල ගෙවල්ද ඇතුලුව සියලුම ගෙවල් මාලිගා බවට පත්ව ඇත.
වෙනදා පරණ සරමක් හැඳ බයිසිකල් කටුවේ යන පී බී මාමා ලුමොසීන් කාරයක විත් මා අසල නැවතුනි.

"ඈ බං පී බී මාමෙ සමුර්දි කාඩ් එකෙන් කොහොමෙයි මෙච්චර හරියක් කර ගත්තෙ"

මම ඇසුවෙමි. පී බී මාමා මගෙ ඇඟට කඩාපැන්නේය.

"කොල්ලො මේ මට අපහාස නොකර හිටපන් මම දැන් කෝටිපතියෙක්"

පී බී පිඹගෙන ගියේය. වෙනදා කසිප්පු පැකට්ටුවක් සඟවාගෙන සිටින ඔහු ලඟ බකාඩි බෝතලයක්ද තිබෙනු මම දුටුවෙමි. පාරෙ බයිසිකල් මොටර් බයිසිකල් ත්‍රීවීලර මගී බස් රථ නැත. සියල්ලම සුඛෝපභොගි වාහනය. වෙලඳසල්ද මාලිගා වැනිය. ජනතාව වාහන වලින් පැමිණ බඩු මිලදී ගනිති කා බී ප්‍රීතිවෙති. හරියට ඛේතුමතී පුරය පහල වූවා මෙන්ය. අන්ද මන්දව කැරකෙමින් සිටි මම එළවලු වෙලඳසලක් තුලට ගියෙමි නොව යැවුනෙමි.

මට තරු පෙනුනේ එහි එල්ලා තිබූ කැලන්ඩරය දුටු විටය "වසර 2016"

මීලඟ මහ චන්දෙ තියෙන අවුරුද්දට හදිසියේ විවර වූ කාල දොරටුවක් හරහා එන්නට ඇතැයි සිතුවෙමි. මම කොහොමත් විද්‍යා ප්‍රබන්ධ කියවනවා වැඩිය. වෙලඳසලෙහි වූ අමු මිරිස් ගොඩ අසලට ගියෙමි.

"කීයද මුදලාලි කිලෝ එක".

 "රුපියල් දෙකයි මහත්තයා"

 උඩගොස් වට දෙකක් කරකැවී බිම වැටුනෙමි.

"මොනව කොහොමද එච්චර ගනන් අඩු වුනේ?"

 මුදලාලි පුදුමයෙන් මා දෙස බැලීය.

"මහත්තයා පහුගිය දවස්වල ලංකාවෙ නෙවෙයිද හිටියෙ?"

"ආ නෑ මුදලාලි මම අවුරුදු කීපයක් ඇමරිකාවෙ හිටියෙ" හිතට ආ බොරුව කියා දැමුවෙමි.

"අයියෝ මහත්තයා මොකට ඔය වගේ දුප්පත් රටවල් වලට යනවැයි? දැන් ඇමරිකාවත් ණය ගන්නෙ අපේ රටෙන්නෙ."

මම නැවතත් උඩගොස් කරකැවෙන සිද්දියට මූන දුන්නෙමි. "එතකොට අපි එයාලට තිබ්බ ණය?"

 "ඒවා ගෙවලා කොයිකාලෙද මහත්තය. දැන් චීන්නුත් අපෙන්නෙ ණය ගන්නෙ. කොටින්ම දැන් ලෝක බැංකු මූලස්ථානෙ දාල තියෙන්නෙත් ලංකාවෙනෙ. පහුගිය අවුරුදුවල අපේ ජනතාව බුද්ධිමත්ව චන්දෙ පාවිච්චිකරපු නිසා තමයි මේ සේරම."

මට මම ගැන මහා ආඩම්බරයක් දැනුනි. වෙලඳසල වායුසමනය කර තිබුනද මට මහා රස්නයක් දැනෙන්නට විය. ඇත්තටම අවදි වූයේ දැන්ය. මෙච්චර වෙලා දැක ඇත්තේ හීනයකි. යාන්තම් නැගිට ගත්ගමන් මා හට මාකැට්ටුවට යාමට සිදුවූයේ ගෙදර එළවලු අහවරව ඇති නිසාය. තාමත් නින්දත් නොනින්දත් අතර පසු වූ මම මුදලාලිට රුපියල් දෙකක් දිගු කළෙමි

"මිරිස් කිලෝ එකක් දෙන්න"

"......................... ..........................."

වසර 2016 තාම උදාවී නොමැති බව මුදලාලි මහත්මා මා හට කරුණා පෙරදැරිව පහදා දුන්නේය.

- අංකුට්ටා

5 comments:

  1. ඔයාට විහිලු උනාට ඔව මේ රටේ අනිවාර්යන් වෙනවා ලගදිම.

    ReplyDelete
  2. ඇත්ත. විහිලු ඇත්ත වෙන රටක් මේක

    ReplyDelete
  3. උදේ ම ගිහින් සන්ධානෙට ඡන්දේ දීල ඇවිත් බඩ ගින්නට කහට එකක් ගහල ඡන්ද ප්‍රතිඵල දැකල ෆෝම් වෙලා රත්ඤ්ඤා දෙකක් දාන්න පුරුදු වෙලා ඉන්න අපේ උන්දැලාට මේවා හීන නෙවෙයි. ලොල්...

    ReplyDelete
  4. අංකුටු හීන.

    ReplyDelete
  5. රිදිල වගේ. බංකොලොත් පක්ෂ වලට කඩේ ගාටන උංට ඔහොම තමා වෙන්ාන.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.