Tuesday, May 31, 2011

දිනූ (කාර්මික) සාමය රැකගනිමු

විශ්වයම විස්මිත කරමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට අප වන්දනීය මාතෘභූමියට, අති උත්තරීතර කාර්මික සාමය උදාකරදුන් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට පළාමල්ලේ ප්‍රණාමය මෙයින් පුදකර සිටී.


මේ ආශ්චර්යමත් මොහොතේ එම සාමය අපවෙත උදාකරදීමේලා සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදි රණකාමී අභීත (පොලිස්) රණවිරුවන් විසින් සිදුකල උදාරතර සේවය සදා අමරණීය වේ. මෙම කාර්මික මානුෂීය මෙහෙයුමේදී සිත් පිත් නැති කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ අධම ගල් මුල් ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූ සියළු (පොලිස්) රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබ, නැවත වරක් අප පූජනීය මව්බිමේ කාර්මික සාමය රැකීමේ උත්තරීතර මෙහෙයට එක්වීමට සියළු දෙවි දේවතාවුන්ගේ නොමඳ පිහිට ආරක්ෂාව ලැබේවා යි ද අප ඉත සිතින් පතමු.


කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්ව සිටි දස දහස් සංඛ්‍යාත අහිංසක කාර්මික සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ශා කර ගැනීමේ පරම චේතනාවෙන් යුතුව, මෙහෙයුමේ අවසන් අදියරේදී බර අවි භාවිතයෙන් තොරව පොලු මුගුරු සහ කළුගල් වැනි සැහැල්ලු ආයුධ භාවිත කොට අප රණවිරුවන් ලැබූ මේ විශිෂ්ට ජයග්‍රහණය ලෝකයේ සියළු හමුදාවන්ට ආදර්ශයක්ම වන්නේය.


සියළු ශ්‍රී ලාංකිකයිනි,
දිනූ (කාර්මික) සාමය රැකගෙන අප ඉදිරි පරම්පරාවන්ටද දායාද කිරීම මේ මොහොතේ අප ඉදිරිපිට ඇති අනුල්ලංඝනීය වගකීමයි. ඒ සඳහා ම.එ.පෙ/ජා.නි.පෙ/ජා.හෙ.උ/කො.ප/ම.එ.පෙ/ප්‍ර.එ.ජා.පෙ/...../.../.. වැනි සියළු භේදයන්ගෙන් තොරව ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව වටා එක්සිත්ව රොක්වන මෙන් ඔබ සැමට ආරාධනය කොට සිටිමු.


දිනූ (කාර්මික) සාමය රැකගනිමු.....!
මව්බිමට ජයවේවා.....!!
කෝ යකෝ කිරිබත්..........?

Monday, May 16, 2011

නොවරදින අනාවැකි සඳහා...... චතුස්කෝටිකාචාර්ය නලින් ගුරුන්නාන්සේ.......

පින්වත් දරුවනි,
පෙම්වතා, පෙම්වතී හැරගියාද?  ස්වාමිපුරුෂයා බීමත්කමට ඇබ්බැහිවීද?,  විවාහ දිවියේ ගැටුම්ද?  කුඹුරේ කීඩෑවෝද?  මූණේ කුරුළෑද?  ගෙදර පිළිමවලින් රැස් විහිදුනාද?  නේටෝ එකෙන් ලිබියාවට ගහනවාද?  බැන්කි මූනා වලි දානවද? බ්ලේක් කාරයා ගැන සැකයිද?

තවදුරටත් හිතින් විඳවන්න එපා. පුරාණ සිංහල ඍෂිවරුන් විසින් විසින් සොයාගත් ඉපැරණි චතුස්කෝටිකයෙන් ටක්කෙටම හරියන අනාවැකි......

මුදල් එපා..... හරිගිය පසු ලොක්කට ඡන්දයක් දෙකක් දුන්නාම හොඳටම ඇති..... තව සුළු කාලයක් පමණයි.... වැරදුනහොත් අනාවැකිය වෙනුවට අලුත් අනාවැකියක් නොමිලේ......
අදම එන්න....

ශ්‍රී චින්තන පරසද ජ්‍යෝතිෂ කාර්යාලය.
කැළණිය කුප්පායම.
------------------------------------------------------------------------------

හාල්පන්විල ගුණසේන.

ඇත්තටම මට තිබුණේ මහා බයානක ලෙඩක්. හැමතිස්සෙම ඔලුව නස්කුරුඥ්ඥං වෙලා..... නාහෙන් හොටු දියර ගලනවා...... හීනෙං අහස් ගුණ්ඩු පේනවා.... නිතරම කිරිබත් මතේ වගේ..... මං දිහා බලන හැම එකාම මාව කන්ඩ එනවා වගෙත් පේන්ඩ ගත්තා.....

දන්න කියන ගොඩවෙද්දු නං කිව්වෙ යුද්දෙ නැවතුනාට පස්සේ, ඒ තිබුන ඇඩ්වෙන්චරස් ආතල් එක නැතිවීම නිසා ඇතිවුන සාංකාව වගේ එකක් කියලා.... හැම තැනින්ම වෙදකං කරලා බැරිම තැන තමා නලින් ගුරුන්නාන්සේ හම්බඋනේ....... උන්නාන්සේ දෙවියෙක් වගේ පිහිට වෙලා මට අලුත්ම අනාවැකියක් කිව්වා.... තව මාස අටකින් නේටෝ එකෙන් ලංකාවට ගහනවාය..... ඒ යුද්දෙන් ලංකාව දිනනවාය කියලා..... ඒ ගහන්නෙ අපි ගාව බුද්දාගම තියෙන හින්දයි කියලත් කිව්වා.......

දැං ඉතිං දෙයියංගේ පිහිටෙං මට තිබුන ලෙඩ රෝග සේරම ඉවරයි..... ගෙයි උළුවස්සේ මයේ ගෑනි රටහුණු කෑල්ලකිං ලියලා තිබ්බ 'බාලගිරි දෝසෙ අද නෙමේ හෙටයි' කියන පල් වාක්කිය උඩිං 'මේ ගවුතම බුද්ද රාජ්ජයයි' කියන ඉස්ටිකර් එකක් අලෝගත්තා. 

ඒ කාලෙ අපි ටීවී එකේ වර්ග කිලෝමීටර් ගණං කොලා වගේ, මං මේ දවස්සොල නේටෝ කාරයෝ ඔය ඉස්ටිකර් එක ගලවන්ඩ ඇවිත් නන්දිකඩාල් වෙන දවස කවුන්ට්ඩවුන් කරනවා..... එදාට ඉතිං අපිට දෙයියනේ කියලා රතිඤ්ඤයක් දාල... කසිප්පු උගුරක් බීලා කිරිබත් කටක් කාගන්ඩ නලින් ගුරුන්නාන්සේට සියලු ඉෂ්ට දේවතාවුන්ගේ රැකවරණ ලැබේවා......!!!


දිනයක් වෙන්කරගෙන පැමිණෙන්න. පෝය දින ඇතුළුව මසකට දින 23 ක් වසා ඇත. පූජා භාණ්ඩ රජය විසින් සපයනු ලැබේ.