Tuesday, May 31, 2011

දිනූ (කාර්මික) සාමය රැකගනිමු

විශ්වයම විස්මිත කරමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට අප වන්දනීය මාතෘභූමියට, අති උත්තරීතර කාර්මික සාමය උදාකරදුන් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට පළාමල්ලේ ප්‍රණාමය මෙයින් පුදකර සිටී.


මේ ආශ්චර්යමත් මොහොතේ එම සාමය අපවෙත උදාකරදීමේලා සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදි රණකාමී අභීත (පොලිස්) රණවිරුවන් විසින් සිදුකල උදාරතර සේවය සදා අමරණීය වේ. මෙම කාර්මික මානුෂීය මෙහෙයුමේදී සිත් පිත් නැති කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ අධම ගල් මුල් ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූ සියළු (පොලිස්) රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබ, නැවත වරක් අප පූජනීය මව්බිමේ කාර්මික සාමය රැකීමේ උත්තරීතර මෙහෙයට එක්වීමට සියළු දෙවි දේවතාවුන්ගේ නොමඳ පිහිට ආරක්ෂාව ලැබේවා යි ද අප ඉත සිතින් පතමු.


කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්ව සිටි දස දහස් සංඛ්‍යාත අහිංසක කාර්මික සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ශා කර ගැනීමේ පරම චේතනාවෙන් යුතුව, මෙහෙයුමේ අවසන් අදියරේදී බර අවි භාවිතයෙන් තොරව පොලු මුගුරු සහ කළුගල් වැනි සැහැල්ලු ආයුධ භාවිත කොට අප රණවිරුවන් ලැබූ මේ විශිෂ්ට ජයග්‍රහණය ලෝකයේ සියළු හමුදාවන්ට ආදර්ශයක්ම වන්නේය.


සියළු ශ්‍රී ලාංකිකයිනි,
දිනූ (කාර්මික) සාමය රැකගෙන අප ඉදිරි පරම්පරාවන්ටද දායාද කිරීම මේ මොහොතේ අප ඉදිරිපිට ඇති අනුල්ලංඝනීය වගකීමයි. ඒ සඳහා ම.එ.පෙ/ජා.නි.පෙ/ජා.හෙ.උ/කො.ප/ම.එ.පෙ/ප්‍ර.එ.ජා.පෙ/...../.../.. වැනි සියළු භේදයන්ගෙන් තොරව ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව වටා එක්සිත්ව රොක්වන මෙන් ඔබ සැමට ආරාධනය කොට සිටිමු.


දිනූ (කාර්මික) සාමය රැකගනිමු.....!
මව්බිමට ජයවේවා.....!!
කෝ යකෝ කිරිබත්..........?

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.