Saturday, July 16, 2011

ලෝක අනාථ "නාථ"...

නිමිත්තඃ පොහොර සහනාධාරය කැපීමට නාථ දෙවි පිහිට පතයි.
(“2011 ජුනි 30, රාවය” පුවතක් ඇසුරින්)


නාථ.....,
අප අනාථ කරන
උඹත් දෙයියෙක් ද?

ලෙඩ ගෑණු
සෙප්පඩ මහැ’දුරන්
බැල දොස්තරලා
උඹට මුවා වෙන කොට
ගඳ ගැහුවෙ නැද්ද?

කලාපෙං ඉල්ලං කාලා
ගා ගෙන හත් පොලේ
පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
උඹවත් ඉස්සරහාට දාලා

නාථ..
හිටපු දේවාලෙක ට ම
දැන්ම ම ගියොත් හොඳයි..

මඩ හෝද ගෙන
අපිත්
දිග හැරිය යුතුය අතපය

ඕනෑම නාථයකු – ඕනෑම ගෝතයකු
අනාථ කළ හැකි
මහ බලය
ගොවි බිම් මතට රැගෙන යා යුතුය

යන ගමන් කියන්න
ඉතුරු තිස්තුං කෝටියටත්..

ගොඩ ගැසුණු මහ බැතේ
උරා ගත්ත
පෙරේත කුම්භාණ්ඩයන් ට
හෙනයක්වත් නැති
ඔය දෙයියන්
පඩයක් තරම් නොවටිනා වග



-------------------------------------------
පසුව ලියමිඃ

රසික සද් ජනයිනී
නොසොයන්න මේ කව් මත
ඉසියුම් හද රාව
ඉගැඹුරු දිවි අරුත්
මරා නොදමන්න කතෘ
රැකගන්න කතෘගේ අභිප්‍රාය

හැකි හැකි අයුරු
වපුරන්න…
හමුවන හමුවන
සුදුසු බිම් මත..

- By Niyama Kavi
(ලංකා සී නිව්ස් හි පළව තිබූ කමෙන්ටුවකි)

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.